රණහිංගොඩ පත්තිනි දේවාලය

මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 811ඒ පහල කරන්නාගොඩ ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇත.ලිඛිත සාධක හමුනොවූනද රණහිංගොඩ දේවාලය හෙවත් ප්‍රකාශ කෝවිල ලෙස හඳුන්වන මෙය වසර 200කට වඩා පැරණි බව සඳහන් වේ.වීදිය බණ්ඩාරගේ රණශූරයන් විසූ ප්‍රදේශය රණහිංගොඩ වූ බැවින් ඔවුන්ගේ වන්දනා මාන සඳහා දේවාලය ඉදි කර ඇති බව පුරාවිද්‍යාත්මක මතය වී ඇත. දෙවියන් වෙනුවට සලකන දේවාභරණ තැන්පත්ව ඇති මෙම ස්ථානයේ පැරණි මිරිස් ගල හා ගල් කණු ආදී පුරා විද්‍යා සාධක හමු වී ඇති බැවින් පුරා විද්‍යා සංරක්ෂිත ස්ථානයක් ලෙස හඳුන්වා දී ඇති අතර,තවමත් පුරා විද්‍යා ගවේෂණ කටයුතු සිදු වෙමින් පවතී.

දෙමළ ශිලා ලේඛණය

මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වරකාගොඩ දකුණ ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇත.සෙන්ටිමීටර 150ක් උස ගල් කණු දෙකක් පෙළට සිටින සේ සිටවා ඇති අතර, ඉන් එකක මුහුණත් දෙකක මෙම ලිපිය ලියා ඇත. එක් මුහුණතක ඉහළ සිට පහළට පේළි 16ක් සහිතව ලියා ඇති මෙම ලිපියෙහි අර්ථය කියවා තේරුම් ගත නොහැකි නමුත් ජනප්‍රවාද සාධක අනුව මීට වසර 100කට පමණ පෙර වතු කම්කරුවන්ගේ අවමඟුල් කටයුතු වෙනුවෙන් කරන ලද බව පුරා විද්‍යා ගවේශකයන්ගේ මතයයි.

පැරණි ලිද හා තොටුපල

මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඟුරුවාතොට ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇත.අඟුරුවාතොට පැරණි පොලිසිය පිහිටි ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය වාස්තු විද්‍යාත්මකලක්ෂණ අනුව ඉංග්‍රීසි L අකුරේ හැඩයට සමාන සැලැස්මක් අනුව ඉදි කර ඇති අතර පොළොව මට්ටමේ සිට මීටරයක් පමණ උසකින් යුක්තව නිමවා ඇත. කෙටි බරාදයක් විවෘත ආලින්දයක් කාමර 4ක් හා මුළුතැන්ගෙවල් දෙකකින් යුක්තව සාදවා ඇත. ඉංග්‍රීසි පාලන සමයේ දී ඉදි කළ බවට සාක්ෂි දරණ ළිඳක් ද පිහිටා ඇති අතර, එහි පහළින් 1884 යන්න කොටා ඇති අතර කපා සකස් කරන කබොක් ගලින් නිමවා ඇත.මෙහි ඇති අශ්වගාල කාමර දෙකක් සහිතවකබොක් ගලින් නිමවා ඇති අතර,ඊට යාබදව වැසිකිලි දෙකක නටඹුන් දැකිය හැකිය.මෙහි විශේෂත්වය වන්නේ ගෙබිමේ සිට පියගැට පෙළකින් ඉහළට නැග ඒ මත සකස් කර තිබීමයි.ප්‍රදේශයේ ඉතා වැදගත් ස්ථානයක් වන පැරණි තොටුපල ඉංග්‍රීසි පාලන සමයේ අඟුරු පැටවීම හා බෑම සිදුකළ ප්‍රධාන තොටුපලක් බව පුරාවිද්‍යාත්මක මතය වී ඇත..

කුමරියන් පැන්න ගල

මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රෙමුණ ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇත.මේ පිළිබඳ ලිඛිත සාක්ෂි නොවූවද ජනප්‍රවාද රැසක් ඇත. නිශ්ශංක අලගක්කෝනාරගේ පුත් විජය නම් ආදිපාදවරයා රයිගම්පුර පාලකයාව සිටි සමයේ ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ රජෙකුගේ දියණියන් දෙදෙනෙකු පිරිමි වෙස් ගෙන ලංකාවට පැමිණ ඇති බව කියවේ. ශීලවතී හා චන්ද්‍රවතී නම් වූ එම කුමාරිකාවන් දෙදනා විජය ආදිපාදවරයා සරණ පාවා ගත් බවත් ශීලවතී බිසවට පුත් කුමරෙකු ලැබුණු බවත් ජනප්‍රවාදයේ කියවේ.විජය ආදිපාදවරයාට නුදුරු ප්‍රදේශයක යුද්ධයකට යාමට සිදු වූ බවත් ඊට පෙර තම පුත් කුමරා හා බිසෝවරුන් රෙමුණ ප්‍රදේශයේ උස් කදු මුදුනක ගල් පර්වතයක් මතට නංවා "මා යුද කරණ පිටිය මෙම කඳු මුදුනට පෙනෙන බවත් යුද්ධයෙන් ජය ගත හොත් සුදු කොඩියක් ඔසවන බවත් පැරදුන හොත් කළු කොඩියක් ඔසවන බවත් පවසා යුද්ධය සඳහා පිටත්ව ගිය බව ජනප්‍රවාදයේ එයි.ආදිපාදවරයා යුද්ධය ජය ගත් නමුත් දේවියගේ සිත බැලීමට කළු කොඩියක් එසවූ බවත් ඒ දුටු බිසෝවරු පර්වතයෙන් පහළට පැන ජීවිතය නැති කරගත් බවත්, එවක් පටන් එම පර්වතය කුමරියන් පැන්න ගල නමින් ප්‍රචලිත වූ බවත් ජනප්‍රවාදයේ එයි.

රෙමුණ වැව

මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රෙමුණ ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇත.රෙමුණ, මාහේන,ලබුගම ගම්මාන වලට මායිම්ව අක්කර 60 ක පමණ වපසරියක රෙමුණ වැව පිහිටා ඇත.රෙමුණ වැවෙ ආරම්භය පිළිබඳ නිශ්චිත තොරතුරක් නොමැති වුවද මෙය රයිගම් බණ්ඩාර රජුගේ නිර්මාණයක් බව ගැමියන් අතර ප්‍රකට මතයකි.රජ රට ප්‍රදේශවල මෙන් පැරණි වැවක දැකිය හැකි සියළුම අංග මෙම රෙමුණ වැව ආශ්‍රිතව දැකිය හැකි වේ.

back 2

back 3

අයියනායක දේවාලය

මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රෙමුණ ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇත.රෙමුණ අයියනායක දේවාලයේ ඉතිහාසය අනුරාධපුර,පොලොන්නරු යුගයන් කරා දිව යන බවත් පළවන විජයබාහු නමින් රජ වූ කීරති කුමාරයා රෙමුණගල කඳවුරු බැඳි බවත්. එම කඳවුරු බැඳීමට ආධාර කළ බුදල් නා හෙවත් බුද්ධරාජ සෙන්පතියා රෙමුණ අයියනායක දේවාලය ඉඳි කර, රෙමුණ ප්‍රෙද්ශයේ ජනාවාසයක් බිහි කිරිමට කටයුතු කර ඇතැයි ජනාප්‍රවාදයේ සඳහන් වේ.රෙමුණ ගමේ මැදට වන්නට තරමක් උස් භූමියක පිහිටා ඇති මෙම දේවාලය එදා මෙදා තුර ඉතාමත් බලගතු හාස්කම් සහිත දේවාලයක් වශයෙන් භක්ත්‍යාදරයට පාත්‍ර වී ඇත.එසේම අයියනායක දේවාලයේ පවත්වන වාරෂික ගම්මඩු මංගල්‍යයය අප අතරින් ගිලිහී යන ඉපැරණි සංස්කෘතිකාංග වලට නව ජීවයක් ලබා දෙයි..

රෙමුණ ආදාදොල

රෙමුණ ගම්මානයේ සුන්දරත්වය විදහාපාන ස්ථානයක් ලෙස “රෙමුණ ආඳා දොළ” හඳුන්වා දිය හැක.මෙම ආඳා දොළ සම්බන්ධයෙන් විවිධ ජනප්‍රවාද රැසක් පවතී. එදා බලකොටුවක්ව පැවති මෙම කුමරියන් පැන්න ගල හා ආඳා දොළ අතර උමඟක් තිබූ බවත් කඩුක්කමක් පැළඳි ආඳකු මෙම දොළේ ජීවත් වූ නිසා මෙම දොළ ආඳා දොළ ලෙස හැඳින්වූ බවත් එක මතයකි.

එසේම පැරණි රජ දවස මෙම දොළේ දිය නෑමට පැමිණි විට මෙහි ආඳකු සිටින බව දැක ඇති බවත් එම ආඳා වගේම තවත් ආඳකු මෙම දොළේ සිට කි.මී15ක් පමණ දුරින් පිහිටි රයිගම පතහවත්ත විහාරය අසල පොකුණෙහි දක්නට ඇති බවත් කියවේ. මේ පිළිබඳව බොහෝ දෙනෙකු විමසිලිමත්ව මෙම පොකුණු දෙකේම දකින්නේ එකම ආඳා දැයි සෙවිමට ආඳාව අල්ලා උගේ කන් පෙත්තක කඩුක්කමක් රඳවා ඇත.කෙසේ වෙතත් ඉන් දින කිහිපයකට පසු මෙම ආඳා ස්ථාන 2ම දක්නට ලැබී ඇති අතර ඒ අනුව රෙමුණ ආඳා දොළේ සිට රයිගම පතහවත්ත පොකුණ දක්වා පොළව යටින් ජල උමං මාර්ගයක් තිබී ඇති බව තහවුරු වී ඇත.මීට අමතරව මෙම ආදා දොළේ දිය ඇල්ල වැටෙන ස්ථානයේ පතුලේ ගල් තලාව මත පහනක ආකාරයට කැටයමක් කොටා ඇති අතර එය ඉතාම අධික වර්ෂාවකදී විශාල දිය ඇල්ලක් නිර්මාණය වී දොළේ ඉතා කුඩා ගල් එම ජල පහරට හසුව ඉවත්වූ අවස්ථාවකදී ගල් තලාව මතුවේ.එවිට දිය යට කිමිදී එම පහන දැක ගැනීමට අවස්ථාව උදාවේ..

News & Events

Scroll To Top